“ස” ප්‍රසංගය යාපනයටත්
යාපනේ වීරසිංහම් ශාලාවේදී 1976 ජූලි 3දා එවකට යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ව සිටි මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ සහ සුනිල් ආරියරත්න යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් "ස" 301 සහ 302 ප්‍රසංගයන් පැවැත්විණි.
ඒ පිළිබඳව “යාපනයට සංස්කෘතික දූතයකු සපැමිණි වගයි” යනුවෙන් මහාචාර්ය
සුචරිත ගම්ලත් ශූරීන් විසින් ලියූ අතිශය රමණීය සටහන මෙසේ වෙයි.
“සිංහල හා දෙමළ රසික රසිකාවෝ සිව් දෙසින් ගලා විත් වීරසිංහම් ශාලාවේ දොරටු අබියස රැස් කන්ට වන් හ. පිරිමි අගනා සළු පිළියෙන් සැරසී උන්හ. ද්‍රවිඩ ළඳුන් අපූරු ශ්‍රී විභූතියක් රැගෙන වුත් ශාලා දොරටු අබියස තැවැරූ කලෙක වැනි විය. ළඳුන්ගේ රන්වන් සිරුරු වැලඳගත් දුහුල් පටසළු මද සුළගේ ලෙළ දෙයි. ඡවි වර්ණයද කාන්ති කඩා හැලෙයි. නිතඹ තෙක් එල්බෙන කලඹ සැරසූ සමන් මල් දම් වලින් ගලා එන සුවඳ ද නන් විලවුන් වල සුවඳ ද නැහැ සිදුරු වලින් ඇතුළුවී හදවත සිප ගනී. කිකිණි වැල් පලන් රන්වන් දෙපතුල් බමර වැල වටකළ තඹරන් සිරි ගනී.
“ගත වූයේ මොහොතකි, සියල්ලන්ම ශාලා ගර්භයෙහි සන්සුන්ව අසුන් ගෙන ය. ඉඳිකටුවක් වැටෙන හඬ පවා ඇසෙන දැඩි නිසල බවක් රජයයි. අමුත්තෝ කිහිප දෙනෙක් සුබ මංගල පහනක් දැල්වූහ. සෙමෙන් එළි නිවී යයි. රංග පීඨයේ කඩතුරා හැරෙයි. මනාව තැන්පත් කළ සංගීත භාණ්ඩ ය. ඒවා වැලඳගෙන අසුන්ගත් සංගීතඥයෝ ය. නා නා මල් ලියකමින් සැදුණු බතික් වස්ත්‍රයක් අතුළ අසුනක් රඟබිම මැද පනවා ඇත. මන්ද කශාය වර්ණ සළුපිළි හැඳි වික්ටර් රත්නායකයන්ගේ මනස්කාන්ත රූපකාය රංග භුමි මස්තකයෙහි ප්‍රාදූර්භූතවී එකී අසුන කරා උපවිෂ්ට වත්ම ශාලාව දෙදරා යන තරම් අත්පොළසන් නාදයක් නැඟෙයි.
“ස්තෝත්‍ර ගීතයෙන් ආරම්භ වන්නා වූ ගීත සරණිය වා ගැබට විහිදෙත්ම සියල්ලෝම මන්ත්‍ර දැහැනකින් මෝහනයට දැපනය වැටුණු කලෙක මෙන් වෙති. ජාති කුල ගෝත්‍ර භාෂාදී භේද දූරිභූතව සියලු හදවත් රහස් පෙම් දමෙකින් බැඳී එකම හදවතක් වූ මොහොතක් වැන්න.
“මීන නුවන් යුගින් බලන් මීනා” ගීතයේ පද මාලාවේ දෙමළ පරිවර්තනය ශබ්ද විකාශනයෙන් පෙරී ගොස් අවසන්වත් ම ගීතය ගැයෙයි. එය අවසන නැඟෙන අභිනන්දන අත්පොළසන් නාදයෙන් මුළු ශාලා ගර්භයම එකනින්නාද වෙයි. සියළු හදවත් තෙරපන ගුප්ත අභිලාෂයක් වික්ටර් රත්නායක අනාවරණය කළාක් සේ ය. සිංහල රසිකයෝත් ද්‍රවිඩ රසිකයෝත් එදින එකම ආධ්‍යාත්මික බැම්මකින් බැදුණාහුය.